COVID 19 සහ සමාජ දුරස්ථකරණය

කොරෝනා වෛරසය ලෝක මට්ටමින් ප්‍රබල ලෙස බලපානු ලබන ලෝක ව්‍යසන කාලයක අප ජීවත් වෙමින් සිටිමු. දැනට මාස 4 පමණ අඩු කාලයක් තුල ලොව රටවල් සියල්ලෙහිම ව්‍යාප්තව ලොවපුරා ආසාදිතයින් දසලක්ෂයට ආසන්නව, හතලිස්දදහසකට (මාර්තු 31 දිනට) වඩා මිනිස් ජීවිත අහිමි වී සිටින කාලයක මිනිසුන් ලෙස අප සිටිය යුත්තේ කොතනකද? අප මෙතෙක් උදම්ඇනු තරම්ම විශිෂ්ටතම සත්ව කොට්ටාශය ලෙස තවමත් පිළිගත හැකිද? අපට මෙම අභියෝගය ජයගත හැකිද? අනාගතයේ, නැත හෙට මුළු මිනිස් සංහතියටම කුමක් වනු ඇතිද?

අඟහරු ග්‍රහයාගේ වාසභූමි ඉදිකිරීමටත් සඳෙහි ශාක රෝපනයටත්, නොදන්නා ලඟා වීමට අපහසු ග්‍රහලෝක සොයාගෙන ගිය මිනිසාව තම පියවි ඇසට නොපෙනෙන අන්වීක්ෂිය ජීවියෙකු විසින් මරාදැමේනු ඇත්ද? මේ මිනිස් සංහතියේ නැතිනම් ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක අවසානයද?

ලෝකයම තම අල්ලෙහි නැටවූ කිසිත් මායිම් නොකල ට්‍රම්ප් මහතා ඇමරිකාවේ කොරෝනා මරණ ලක්ෂය ඉක්මවනු ඇතැයි පැවසු මොහොතක ලංකාව වැනි තඹ දොයිතුවකටවත් ගණන් නොගත් තාක්ෂණයේන් ඇමරිකාව වැනි රටවල් අසලටවත් යා නොහැකි රටක් ගැන තව කුමන කතා දැයි කෙනෙකුට සිතිය හැකිය. නමුත් ලංකාව දැනටමත් සැලකියයුතු සහ දැරියහැකි මට්ටමේ ක්‍රියාවලියක් දියත් කොට ඇත්තේ ඉන්දියාව නොකියාම වසාදැමූ අවස්ථාවකදීය.

මිනිසාගේ ඉතිහාසය දෙස බැලීමේදී කොරෝනා යනු තවත් එක් අභියෝගයක් පමණි. වසර දෙලක්ෂයක් පමණ දිගු ඉතිහාසයකට හිමිකම් කියන වර්තමාන මිනිසා (Homo sapience sapience) මෙවන් වෛරස ලක්ෂ ගණනකට අනුවර්තනය වී/පරාජය කොට පැමිණ තිබෙන අතර ඒ සැම අවස්ථාවකදීම ස්වභාවධර්මයේ නියමයන්ට අනුව උචිතයා ජයග්‍රාහකයා බවට පත්වී ජිවය පවත්වාගෙන යාමේ ක්‍රියාවලියට උරදුන්නේය.

එනම් ජිවත්වන පරිසරයේ අභියෝගයන්ට මුහුණදිය හැකි උචිත ලක්ෂණ සහිත ඇති සත්වයින් පරිසරය විසින්ම තේරීමකට ලක්කර එම සත්වයාගේ අනාගත ජිවය පවත්වාගෙන යාමට උපකාර කිරීමයි. කොරෝනා හෝ වෙනත් ඕනෑම වෛරස තත්වයක දී සිදුවන්නේ මෙයයි. වෛරසය අසාදනය වූ විට එයට ප්‍රතිරෝධී ලක්ෂණ (උචිත ලක්ෂණ) ඇති පුද්ගලයින් සුව වනු ඇති අතර උචිත ලක්ෂණ නොමැති, (මෙම වෛරසයට අනුව ප්‍රතිශක්තිය) පුද්ගලයින් මියයනු ඇත. උචිත ලක්ෂණ නැත්නම් හොඳ ප්‍රතිශක්තියක් (හා තව බොහෝ ලක්ෂණ) ඇති මිනිසුන් ලොව ඉතිරි වනු ඇති අතර ඔවුන් අතරින් සුව වූ පුද්ගලයින් හරහා තව වසරක් හෝ දෙකක් ඇවෑමෙන් සමුහ ප්‍රතිශක්තිය (Herd Immunity) ඇති වී මෙම වෛරසයට සමුහ ප්‍රතිරෝධී ලක්ෂණ මිනිසුන් අතර වර්ධනය වී ඔවුන්ගේ ජනිතයින් (දරුවන්) මෙම වෛරසයට එරෙහි ලක්ෂණ සහිතව උපදිනු ඇත (මෙයට බොහෝ කාලයක් ගත වේ). මෙතෙක් ලොව මිනිස් ඉතිහාසය මුළුල්ලේ ඇතිවූ මෙවැනි තත්වයන්ට අප මුහුණ දුන්නේ මෙලෙසය. මෙය ජීවවිද්‍යාත්මක මෙන්ම සංස්කෘතිකමය අභියෝගයක් ද විය හැකිය. නමුත් උචිත ලක්ෂණ ඇති සත්වයින් මේ දෙඅංශය ඔස්සේම පරිණාමයට ලක්වී එම අභියෝගයන්ට මුහුණ දීමේ ලක්ෂණ ඇත්තෙකු බවට කාලයත් සමග පත්වේ.

නමුත් කාරණය වන්නේ මෙසේ උචිතයන් නැත්නම් මෙම කොරෝනා තත්වයෙන් ලොව මිනිස් ප්‍රජාවගෙන් කුමන ප්‍රමාණයකට තම ජීවිතය ගලවාගත හැකිද යන්නයි. ලෝක සෞඛය සංවිධානය පෙන්වා දෙන ආකාරයට ඒ ඒ රටවල රෝහල් ප්‍රමාණයට සහ සෞඛය වෛද්‍ය කාර්යමණ්ඩලයේ ප්‍රමාණය මෙහිදී වඩා වැදගත්වේ. රෝගීන් අවම ප්‍රමාණයක් වාර්තාවන ලංකාවේ අදවනවිට පවතින ආසාදිතයින් ප්‍රමාණය දින 15ක් හෝ 20ක් වැනි කාලයක් තුල සුව වී නිවෙස් වෙත පිටත් කිරීම ඉතා පහසු කාර්යක් සහ සාමාන්‍ය ක්‍රියාවලියක් ලෙස පෙනුනද දැනට පවතින මිනිස් හැසිරීම යටතේ පවතින තත්වය තව දින කිහිපයකින් වෙනස් විය හැකි බව සෞඛ්‍ය අංශය අනතුරු අඟවා තිබේ. මෙවැනි අවස්ථාවක මෙම තත්වය වර්ධනය වී රෝහල් වලට දැරිය නොහැකි ප්‍රමාණයකට රෝගීන් වර්ධනය වුවහොත් සහ අදාළ සෞඛ්‍ය අංශ නිලධාරීන් ද අසාදනය වුවහොත් දැනට පාලනයේ පවතින තත්වය උඩු යටිකුරු විය හැකි අතර එහිදි සිදුවන්නේ ප්‍රතිශක්තිකරණය/ උචිත ලක්ෂණ ඇති පුද්ගලයින්ට පවා රෝහල්ගත වීමේ අවස්ථාව නොමැතිව මියයාමට සිදුවීමත් ලොව අනාගත මිනිස් සත්වයාගේ ඉරණම  වෙනස් වීමත්ය. ප්‍රතිශක්තිය තිබු පමණින් රෝගා බෝ නොවී නොපවතින අතර ඔවුන්ද නිසි ප්‍රතිකාර ක්‍රම අනුගමනය කල යුතුය (උදා. ලංකාවේ වාර්තාවූ පළමු කොරෝනා රෝගියා). නමුත් තව පුද්ගලයෙකුට විසබීජ ශරීර ගත වුවද රෝග ලක්ෂණ නොපෙන්වා සෞඛ්‍යමත් ලෙස සිටිය හැකිය. ඒ ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් රෝගය යටපත් කර තබන බැවිනි. නමුත් සියල්ලන්ට එසේ නොවේ (අපව කොතරම් ඩෙංගු මදුරුවන් දෂ්ට කලද ඒ දෂ්ට කරන සියලු දෙනාට රෝගය සැදෙන්නේ නැත). වෛරසය සම්බන්ධයෙන් අවධානම් පුද්ගල කාණ්ඩ නම් කර ඇත්තේ එබැවිනි. උදාහරණ ලෙස වැඩිහිටි, ළමා සහ අනෙකුත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝග ඇති පුද්ගලයින්.

එසේනම් මිනිසුන් ලෙස අප අද කුමක් කලයුතුද? සමාජ දුරස්තකරණය (Social Distancing) සහ සමාජ හුදෙකලාකරණය (Social Isolation) මෙවැනි අවස්ථාවකදී, විශේෂයෙන් බෝවන රෝග අවස්ථාවකදී ගත හැකි හොඳම පියවරයි. මෙම සංකල්ප නවීන සංකල්ප ලෙස මෙදින වල සමාජ ගත වුවද එය එසේ නොවේ. හුදෙකලාකරණය අපවැනි ආසියාතික රටවල ජනයාට අලුත් සංකල්පයක් නොවේ. විශේෂයෙන් ඔබ කාන්තාවක් නම් ජීවිතයේ විවිධ අවස්ථාවලදී ඔබ දුරස්ථකරණයට, හුදෙකලාකරණයට ලක්ව තිබේ. වැඩිවිය පැමිණි ගැහැණු දරුවකු සමස්ත සමාජයෙන්ම දුරස්ථකර, හුදෙකලා කරනු ලබයි, දෙවියන්ගේ රෝග සැදුනු විට ගැහැණු පිරිමි භේදයකින් තොරව දෙපාර්ශවයම දවස් 14ක් නැති නම් 21ක් හුදෙකලා කර තබනු ලැබේ. එසේම අප සමීපතමයා, ඉන්දියාවේ කාන්තාව නිරන්තරයෙන් සමාජයෙන් දුසර්ථ කර තබනු ලබන්නේ ආගමික සහ ඔවුන්ගේ සම්ප්‍රදායේ එන ආකාරයටය. මුස්ලිම් කාන්තාවන්ද බොහෝවිට සමාජයෙන් දුසර්ථව දිවි ගේවන්නිය.

මෙසේ බලන කල දුරස්ථකරණය ඉතා පැරණ සම්ප්‍රදායික සංකල්ප ලෙස හැඳින්විය හැකි අතර වැඩිවිය පැමිණීමේ චාරිත්‍ර සහ ඒවායේ යල්පැනගිය බව ගැන තර්ක කල බොහෝ දෙනාට පැවසිය යුත්තේ මිනිසා කිසිඳු ලෙසකින් තම සංස්කෘතිය තුල අනවශ්‍ය අංගයන් දිගු කාලයක් කෙසේවත් තබා නොගන්නා බවයි.  මේ සියල්ලෙන් දුරස්තකරණය සහ හුදෙකලාකරණය යන සංසිද්ධීන් ද්විත්වයම අප සංස්කෘතිය තුල කාන්තාවට අලුත් දෙයක් නොවන අතර ඇයට කෝපමන කාලයක් වුවද පරිබාහිර සමාජයේ නොගැටී සිටය හැකිබව පෙනේ. නමුත් කාරණය වන්නේ පුරුෂ පාර්ශවය මෙවැනි සමාජ ව්‍යසන අවස්ථාවකදී මෙම දුරස්තකරණයට කෙසේ අනුගත වන්නේද යන්න දෙස බැලීමයි. මෙරටින් වාර්තාවූ රෝගීන් ගෙන බැලු කල්හි වැඩි ප්‍රමාණයක් පුරුෂයින් වේ. එසේම ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් රෝගය ශරීර ගත වී තිබියදීම ප්‍රදේශ කිහිපයකම සංචාරය කර ඇති බවද වාර්තා වේ. මෙයින් එක් පුද්ගලයෙක් වෙනත් රටක සිට පැමිණ තම හිතවතුන් බැලීමට ප්‍රදේශ කිහිපයකම සංචාරය කර තිබෙන බවද කියවේ. එසේ වාර්තාවූ ප්‍රදේශ කිහිපයක් දැනටමත් පරිබාහිර සමාජයෙන් හුදෙකලා කර අවසන්.  එසේම ස්වයං නිරෝධායන ක්‍රියාවලිය කඩකරමින් සැරිසරන පුද්ගලයින් විටින් විට මාධ්‍යය ඔස්සේ වාර්තා කරයි. මෙයට හේතුව ව්‍යසන තත්වය තවමත් හරිහැටි තේරුම් නොගැනීමද නැතිනම් ඔවුන්ගේ ජීව විද්‍යාත්මක සහ සංස්කෘතිකමය හැසිරීමේ ස්වභාවයද යන්නද සොයා බැලිය යුතුය.

පුරුෂ පාර්ශවය මානව පරිණාමයේ මුල් කාලයේ පටන් සංචාරය සහ දඩයමේ යාම ප්‍රගුණ කල කාර්යයන් වූ අතර ස්ත්‍රිය නිවසේ රැඳී සිටිමින් පවුලේ ඕනෑ එපාකම් ඉටුකලාය. අදද මෙය වෙනස් නොවී පවතිනු අප සමාජයේ දැකිය හැකිය. කාර්යභාර වෙනස් වුවත් සමාජය සමග වැඩි ගනුදෙනුවක් සිදුකරන්නේ පුරුෂයින්ය. එසේම තම සගයන්  සමග සම්බන්ධතා පවත්වාගැනීමට නිතර  උත්සාහ කරනුයේ කණ්ඩායම්  ක්‍රියාකාරීත්වය (දඩයමෙදී වැනි) පුරුෂ පාර්ශවය අතීතයේ සිට කරගෙන ආ කටයුත්තක් බැවිනි. මෙවැනි කාරුණු වෙනම මාතෘකාවක් ලෙස කතා කල යුතුය. නමුත් මෙම කරුණු මතකයට එන්නේ නිරෝධායනයේ යෙදී සිටි පුද්ගලයකු වෙළඳසලකට පැමිණ පොලීසිය විසින් උපදෙස් දී පිටත් කරනු (30 මාර්තු)  වාර්තා වූ බැවිනි (මෙවැනි හැසිරීම් වල මානුෂීය කරනුද තිබිය හැකිය). පරිණාමයෙන් රැගෙන එන ලක්ෂණ කෙසේවුවත් පුරුෂ පාර්ශවයට මෙම රෝගය වැළදීමේ අවදානම ඉහල බව පෙනේ (මෙය ජානමය තත්වයක්ද නැතිනම් ඔවුන්ගේ සමාජීය හැසිරීමේ ප්‍රතිඵලයක්දැයි සොයාබැලිය යුතුය). එබැවින් මෙවැනි අවස්වතාවකදී දුරස්තකරණය වීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස සලකා කටයුතු කිරිම වැදගත් වන්නේ මිනිස් සංහතියේම අනාගතය රැදී පවතින්නේ මිනිසුන් සුළු ප්‍රමාණයක අත බැවිනි.

එසේම මෙහිදී සැලකිය යුතු තවද කරුණක් වන්නේ මෙය හුදෙක් භෞතිකමය දුරස්තකරණයක් මිස සමාජ සම්බන්ධතා වල දුරස්තකරණයක් නොවන බව. ෆේස්බුක් වැනි සමාජ ජාල වල නිරන්තරයෙන් වයස් භේදයකින් තොරව සැරිසරන මෙකල භෞතික දුරස්තකරණය එතරම් තැකිය යුතු දෙයක්ද නොවේ.  අනෙක් අතට තම සේවා ස්ථානයේ කුඩා කොටසක දවසේ පැය කිහිපහයක් කොටුවී සේවය කර හොදින් දුස්තකරණය අත්විද ඇති බොහෝ දෙනා එය අමතක කර නිදහසේ ජීවත් වීමට සිතා ඇත්තේ මෙම ව්‍යසනය අභිමුවේ වීමයි. මෙතෙක් තම දෙමාපියන් ගැන, ඥාතීන්, යහළුවන් ගැන නොසිතු බොහෝ දෙනෙක් ඇඳිරිනීතිය උල්කලංගනය කර හෝ ඔවුන් බැලීමට හමුවීමට යනු දැකිය හැකිය.

මෙහිදී අප වටහා ගත යුතු කරුණ වන්නේ සමස්ථ මිනිස් සංහතියේම අනාගතය ඉතා සුළු පිරිසක් අත රැදී ඇති බවය. එසේම අඟහරු ග්‍රහයා මත වාසස්ථාන පිහිටු වීමට පෙරම, අප සිතා සිටි පරිදි ගෝලීය උණුසුමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස හෝ තුන්වන ලෝක යුද්ධයට පෙරම (තවත් උපකල්පන බොහෝය) අපට මියයාමට සිදුවනු ඇති බවය. මෙය කිසිවකු නොසිතු අවසානයක් වනු ඇත්තේ මිනිසාගේම අත්තනෝමතික හැසිරීම නිසාවෙනි.

අප ආදීවාසි සමාජ ගැන අධ්‍යයනය කරන විට බොහොමයක් පරිබාහිර විෂයයන් අප පසෙකලා ග්‍රහලෝක සොයා ගියේය. පිටසක්වල ජීවීන් සේවුවේය. නමුත් ඒ සියල්ල පසෙකලා මිනිසා අත්තනෝමතික ලෙස තවදුරටත් හැසිරෙන්නේ නම් අප මියගිය පසු ප්‍රාථමික, නුගතුන් යයි  නොතැකූ මෙතෙක් ලෝකයේනම දුසස්ත වී ලොව විවිධ ප්‍රදේශවල සැඟව සිටින ආදී වාසි ජනයා දියුණු යයි සිතන තාක්ෂණයේ හිනි පෙත්තෙහි වෙසෙන ලොවබොහෝ රටවල මිනිස් සංහතිය ලොවෙන් නික්මුණු පසු නැවත මිහිමත ජීවය පතුරුවනු ඇතැයි බලාපොරොත්තු වෙමු. එසේම එම දවසට අප මෙතක් වනසාලූ සොබාදහමද නැවත තුරු මලින්, පිවිතුරු මදනලින් ලොවට නැවත ජීවය දෙනු ඇත.

 

ආචාර්ය තාරකා ආනන්ද 

Featured Image courtesy:  https://www.washingtonpost.com/travel/tips/completely-correct-guide-vacationing-home/

 

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *